Skip to main content

Posts

Showing posts from 2012
නිල් අහස්කුස වසන් හොරෙන් එබිකම් කරන් ඈත පායා දිලෙන පහන් තරුවෙන් මග අසන් යොදුන් ගණනක් දුරට දිවෙන විට නෙතු පියන්.. ඔබේ හඩ ඇසේදැයි බලන්නෙමි නෙතු යොමන් නපුරු වන සතුන් මැද වන ගහණයෙන් පිරුණු අසීරුවු මාවතේ සොයන්නෙමි ඔබ දෙනෙත්.. මගින් මග කියාදෙන පොඩි නීල කොබෙයියනි කියාපන් දුටුවාද මගේ ඔහු කවදාක මේ විසල් පොළොව තුල සැඟවිලා සිටියාද.. ජීවිතය දුරයි තව කොහොම සරි කරන්නද දරු පැටවු බඩ සයින් අඩනවා නිදි නොමැත අතවනා මොහොතකට ඇවිත් මගෙ මේ ඉමට... මෙතෙක් කල් මා දැවුණු ප්‍රේමයෙන් පුරවන්න මගෙ හිත ලඟ ඇවිත් මොහොතකට නවතින්න ඉසිඹුවක් ලැබුනහොත් එක් වරක් හිනැහෙන්න.
අතීතයෙන් බිඳක්  තුන්වන කොටස.... පද්මසිරි ත්‍රිමාවිතාන මා ඉතාමත් ගරු කල,ඉතාමත් ආදරය කල පුද්ගලයෙක් විය.අදින් අවුරුදු විසි ගණනකට පෙරාතුව වුවද එය එදා මෙන්ම අදටත් එසේසමය. එහෙත් ආදරය යනු වරදවා වටහා නොගන්නා මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.මා එසේ කීවේ වරදීමකින් හෝ එවැනි සිතුවිල්ලක් කෙනෙකු තුල ඉපදීමට ඉඩ දීම ඔහුට කරන අගෞරවයක් ලෙසට මා සිතනා බැවිනි. ඔහු ඉතාම අවිවේකි කාර්ය බහුල ජීවිතයක් ගත කල අයෙකි.එමෙන්ම හරියට කන්නට බොන්නට හෝ නිදන්නට පවා ඔහුට අවස්ථාවක් නොමැති විය. එහෙත් අපේ ගෙදරට පැමිණි සෑම දිනකම උඩ තියෙන ටැංකියෙන් නා ගත් ඔහු අප හා දොඩමළු වෙයි.එහෙත් වචනයක් හෝ අපතේ නොහරී.මා එසේ කියන්නෙ ඔහු කියන කිසිදු වැකියක් අපතේ හරින්නට හැකියාවක් නැති නිසාය. හැම විටම අපිට පොත පත පාඩම් කරන්නට උපදෙස් දෙයි.මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි.මට බොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නෙ ඔහුයි.නිවැරදිව පාඩම් කරන්නට කියා දුන්නේ ඔහුයි.මට අයියෙක් සිටියද ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන ඇඟිලි ගැසුවේ නැත. පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද ඉන් ඔබ්බට ඒමට පාර තනා දුන්නේ ත්‍රිමාය.රෑ නිදි මරාගෙන පාඩම් කල අයුරු අපිට කියන්නෙ
අතීතයෙන් බිඳක්....2 වන කොටස පද්මසිරි ත්‍රිමා විතාන නම් වෛද්‍ය සිසුවා ඝාතනය විය.එදින අප නිවසේ කෑම පිසුවේ නැත.කිසිවකුට බඩගින්නක් පැමිණියේද නැත.අම්මා රත්කර තිබු යමක් කෑමට වෙනදා රණ්ඩු වෙන අපි එදින ගොළුවන් සේ කාමර තුලටම වී කල් ගෙවූහ. හදිසියේම ගේ ඉදිරිපස සුදු කොඩ්යක් දැමියයුතු යැයි මට සිත්විය.මා ලඟ තිබු සුදු රෙද්දක් මසා විශාල ප්‍රමාණයේ කොඩියක් දැම්මෙමි.  මෘත දේහය බැලීමට යාමට සිත් වුවත් තාත්තාගෙන් ඒ ගැන විමසීමට සිත් නොදේ.නංගීත් මමත් බෙහෝම අමාරුවෙන් වචන සිර කරගෙන සිටියෙමු. එහෙත් එක් වරම තාත්තා අපිට කතා  කලේය."ලොකු දුවේ අපි ත්‍රිමාව බලන්න යමුද" කියා ඇසුවේය.අපි එකවරම හා කියා කීවෙමු. ඊට පසු දින අපි කොළඹ වෛද්‍ය පීඨයට යාම සඳහා රත්නපුර නගරයට ගියෙමු.රත්නපුර සිට කොළඹ බලා එකම බස් රථයක් හෝ ගමන් නොකරන බව අපිට බස් නැවතුම් පොලෙන් දැනුම් දෙන ලදි.තාත්තා ආපසු යාවියැයි බියක් මට ඇති විය.එහෙත් තාත්තා මට වඩා කල්පනා කාරි විය. ටික වේලාවක් කල්පනා කල තාත්තා පානදුර බසය වෙත ගමන් කර දුවේ අපි හොරණට ගිහිං කොළඹට යං  යයි පැවසීය.අපි පානදුර බසයේ නැග හොරණට ලඟාවීමු. හොරණින් කොළඹ බසයට ගොඩවී

හයිද්‍රාබාද් සිට චෙන්නායි දක්වා...

චෙන්නායි සිට හයිද්‍රාබාද් දක්වා ඉතිරිය... අපි පැමිණි චර්මිනා එක්ස්ප්‍රස් දුම්රිය චෙන්නායි දුම්රිය ස්ථානයේ නැවැත්වූ බව දන්වමින් මා පෙර සටහන අවසන් කලා.අද එතැන්සිට ඉදිරියට .. චෙන්නායි දුම්රිය ස්ථානය ඉතාමත්ම කලබලකාරි.කඩිනමින් අපි දුම්රියේ බැස ගත්තෙ අධික වෙහෙස මෙන්ම බඩගින්නක්ද තිබුණු නිසාවෙනි. වේලාව තවමත් පෙ.ව. 8.30 නිසාදෝ දුමරිය ස්ථානයේ තැනින් තැන බිම එලාගත් රෙදි කැබලි මත නිදාහුන් මිනිසුන් බොහොමයකි.ගමන් මළු හිසට තබාගෙන නිදා සිටින්නෙ තම ගමන් වාරය එළැඹෙන තෙක්ය. එහෙත් මෙම දුම්රිය ස්ථානයේ ඇති අපිරිසුදු බව නිදාගැනීමට තබා පැවහන් පැළඳ හෝ ඇවිදීමට සිත් නොදෙයි.ඒ තරමටම සෙම් කැහි හොටු වගේම ඉවසිය නොහෙන මුත්‍රා ඟඳද ඇත.එහෙත් මිනිසුන් ඒ වගක් නොමැතිව සුවසේ නිදති. ඉකිමනින්ම දුම්රිය ස්ථානයෙන් පිටවීමට සිතා ගත්තද,දුම්රියට පැටවීමට ගෙනා තැපැල් මළු,හා මුහුදු මාළු පෙට්ටි අපේ ගමන් මග අවහිර කරන ලදි. බොහෝම අමාරුවෙන් පිටතට පැමිණියෙමු.එළිය ඉතා ජනාකීර්ණය.සිටින්නටවත් නිදහස් තැනක් නැතුවා වගේය.අපි නවාතැන් ගත් හෝටලයෙන් බස් රියක් පැමිනෙන තුරු අපි ඉතා කුඩා ඉඩක නැවතුනෙමු. වේලාව පෙ.ව නවයට ආසන්න වුවද දැඩි හිරු රශ්මියක් අප වෙත ප
අතීතයෙන් බිඳක්....... ඒ අසූ අට වසරේ මැද භාගයයි.උසස් පෙල ලිවීමට බලාපොරොත්තුවූ වාරයි. දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද ,කැලෑ ඇඳිරි නීතිය නිසා ඒවා එකක් වත් කර ගක නොහැකිවිය. පන්ති ගොස් එද්දි ගෝනි බිල්ලන්ට කොටුවේ.ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි. රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි.යන්තම් කළුවර වැටෙද්දි උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි. රාත්‍රියට දොට්ට පිළට හෝ යාමට දොරක් අරින්නෙ කලාතුරකිනි. අයියා මේ වන විට කොළඹ විශ්ව  විශ්ව විද්‍යාලයේ  ගණිත අංශයේ විශේෂ උපාධිය හදාරණ සිසුවෙකි.නිතරම විශ්ව විද්‍යාල වසා තැබීම නිසා ඒවා විවෘත කරන ලෙස ඉල්ලිම් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා තැබූ රැස්වීම් වල මුල්තැන ගත්තේ අයියායි. ඊට අමතරව නිවසේ නංගි සහ මේ ලියන මාද සිටියේය. සාමාන්‍යෙයන් රාත්‍රි අට හමාරට ගමට එන අවසාන බස් රළුය අපේ ගේ ලඟ නවත්වන්නෙඅපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි.ඒදින බස් රළුය නැවැත්වු අතර අපි නිශ්ශබ්දව ගේ තුල සිටියෙමු.ටික වෙලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර අයියාගෙ නම කියා අමතනු ඇසුණි. තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටිය අතර අයියාට ඉදිරි දොර තහනම් කර තිබුණේ පැවැති අයහපත් වාතාවරණය නි

හයිද්‍රාබාද් සිට චෙන්නායි දක්වා දුම්රියෙන්

අපි ඉගෙන ගත්තෙ හයිද්‍රාබාද්වල NI-MSME යුනිවර්සිටි එකේ.අපේ ෆිල්ඩ් ට්‍රිප් එක තිබුණෙ චෙන්නායි,බැංගලෝර් සහ මයිසූර්. ඉතිං අපි මුලින්ම හයිද්‍රාබාද්වල ඉඳන් චේන්නායි වලට ගියා. අපේ කැම්පස් එකට විශාල බස් රථ කිහිපයක් පැමිණුනා.අපි සුව පහසු විදියට ඒවයේ වාඩි උනා.අපේ විශ්ව විද්‍යාල කැන්ටිමෙන් ලොකු කෑම පාරිසලයක් ලැබුණා.ඒත් එක්කම වතුර බෝතලයක් සහ ඇපල් ගෙඩියක් හම්බඋනා.අපි යූසුෆුඩා වල ඉඳන් සිකින්ද්‍රාබාද් දක්වා බස් රියෙන් ගමන් කලා. අපි පිටත් වෙද්දි කණ්ඩායමක් ඉතුරු උනා.ඒ අය ගැන අපිටත් අපි ගැන ඒ ගොල්ලන්ටත් ගොඩක් දුකයි.මොකද මාස දෙකක් එකට ඉඳලා වෙන්වෙන පළවෙනි අවස්ථාව ඒක. සහෝදරත්වයේ සෙවනැලි ,සහෝදරත්වයේ කඳුලු අපි දැක්කා.ගැහැණු පිරිමි බේදයක් තිබුණෙ නැහැ එතන.ඔක්කොම එකා වගේ ආදරෙන් සමුගත්තා.ඒ ගොල්ලො එන්නෙ ඊට පස්සෙ දවසෙ.ඒත් එයාලගෙ ගමන වෙනස්.ඒ ගොල්ලො ගමන් පටන් ගන්නෙ මයිසූර් වලින්. ඔන්න ඉතිං බස් එක දුම්රිය පොළට ආවා.අපි බැහැල අපේ ගමන් මළු අරගත්තා.ඊට පස්සෙ කට්ටයම පේලියකට දුම්රිය පොලට ගියා. අප්පා දුම්රිය පොල හරිම විශාලයි.සෙනඟ සූ ගාලා.ටිකක් සෙනඟ අඩු තැනක් බලල අපි කට්ටිය නැවතුණා.හැබැයි ඉතින් මුත්‍රා ගඳින් නම් අඩුවක් ති
රඟ මඬල කෙළවර පිරිවර සමඟ සතුටින හිඳින සිදුහත් තෙම බලන් නළඟනුන් රඟන ... හැඳි සළුපිළි බරණ රිදියෙන් දිදුලුවන බලන් ගැලවී ලෙහෙන අපූරුව මහ සබ මැද... වෛවර්ණ ගැලවූ නෙඟින් වෑහුණු සිනහ කෝ දකින්නටවත් නැත අඩවන්ව තැන තැන වැටුන.. තාලයට පා සලා නටන බෙර පදයට උකුල සෙලවෙන බලන් තැන තැන සිටින එකිනෙකා මත වැටුනු... රඟහලම නිහඬ නිසල වන අරණක් මෙන අතරින් පතරෙහි එකෙක්  ගොරවයි නිහඬ බව බිඳින.
මම ජීවිතේ ගොඩක් පුංචිම පුංචි තැනකින් පටන් ගත්ත කෙනෙක්... මොනවත්ම නොදන්න පුංචි කාලේ ගෙදර තිබුණු බර වැඩ සේරම  කලා.රෙදි සේදුව,මිරිස් ඇඹරුව,,වී කෙටුවා,වී පෙලුවා... රබර් වත්තෙ නෙර ගණන් එලි කලා.කිරි කැපුවා..හරක් බැන්දා.. ඒ වගේම මම හොදින් ඉගෙන ගත්තා.මේ හැමදේම කළත් මම  දැනගෙන හිටියා ඉගෙන ගත්තොත් තමයි ජිවිතේ දිනන්න පුළුවන්  වෙන්නෙ කියලා. ඒ විතරත් නෙමෙයි .මගේ සම වයසෙ යාලුවන්ට ඕ ලෙවල් වල ගණං  සිංහල ඉගැන්නුවෙ මම.මට අදත් මතකයි පඩිපෙල යට කළු ලෑල්ලක්  තියලා පංති කලා. මේ විදියට ජීවිතේ ගොඩක් දුර ආවා. මම ලිපිකාරිණියක් විදියට සේවයට බැඳුනෙ විශ්ව විද්‍යාලයට යන එක  හිතින් අත ඇරල. ලිපිකාර විභාග හැම එකක්ම උසස් විදියට සමත්වුණා.මම ඉක්මනින්ම  පරිපාලන නිලධාරියෙක් උනා. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් මම අකුරු එකතු කරල  ලියනවා.ඒ පද නොගැලපුනත් මම දිගටම ලිව්වා. ඒ විදියට පේස්බුක් ඇවිත් මම අමුණන අකුරු පල කලා. ජිවිතේ ගොඩක් දේවල් මට ලැබුණා.හැම දෙයක්ම වගේ..හැම දේම  මට ලැබුණෙ මගෙ මහන්සිය නිසා. දුක් විඳපු නිසා... ඒත් ඒ හැම දෙයක්ම කිසි වටිනාකමක් නැහැ කියලා මට දැන්  හිතෙනවා. ඒත් ඒ ඇයි......?????????????

අවුරුද්ද

ගේ ඉස්සරහ රතුපාට මල් පිපුණ එරබදු අත්තෙ වාඩිවෙලා කොහැ කෑ ගහනවා... තවත් අවුරුද්දක් අත ලඟට ඇවිල්ල . ගෙවල් දොරවල් අස්පස් කරන්න,අතුපතු ගාන්න සෝදන්න හැම දේටම විවේකයක් ඕනි.  කෝ අපිට නිවාඩුවක්. ඒත් ඉස්සර මම පොඩි කාලේ අවුරුද්දකට සතියකට විතර කලින් අපේ ගේ සෝදනවා.ඒකට අපි හැමෝම එකතු වෙනවා.දැන් වගේ ටැප් එකෙන් වතුර එන්නෙ නැ ඉස්සර.ළිඳෙන් වතුර ඇදගෙන තමයි ගේ හෝදන්නෙ.මමයි අයියි දෙන්නම හරිම ආසාවෙන් තමයි ගේ හෝදන්නෙ. ඊට පස්සෙ අම්මගෙ වාරය. පොඩි පොඩි වැඩවලට අපේ ගෙදරට එන ජේන් ඒ දවස්වලට හැමදාම අපේ ගෙදර එනවා උදේ පාන්දරම.පොඟවාපු පිටි ටික කොටා ගන්න,පොල් ටිකක් ගාලා මිරිකගන්න ජෙන් අම්මට උදවු වෙනවා.  කුස්සියේ බැදෙන කැවුමක රස අදටත් කටට දැනෙන්නෙ පුදුම රසයක්.කටට ගත්ත ගමන් කරස් ගාලා හැපෙන තෙල් පිරුණ කැවුමක් කන්න මොනතරම් ආසයිද මම. කොකිස් හදනකොට එක එක කොකිස් එක අරන් ගිහිං කනවා.අන්තිමට අවුරුද්දට අයෙත් අම්ම කොකිස් හදනවා. ආතම්ම කරන්නෙ දොදොල් හැදි ගාන එක.ආතම්ම හදන දොදොල් පුදුම රහක්.කලුම කලුපාට දොදොල් වල රහ කියලා නිම කරන්න බෑ.අපේ අයියාගෙ ආසම කෑම තමයි දොදොල්. මේ විදියට අවුරුද්දට කෑම ජාති මහ ගොඩක් හැදෙනවා... අපි කරන්නෙ ගස්වල
හීනයක කෙළවරක හිඳිනා ආදරය මහ හුඟක් තිබෙනා මගේ ලෝකයෙ රජුන් තනනා ඔබයි මගෙ ලොව එකම රජිදා.. ඔබේ දිගු අත් රැගෙන පොඩිඅත් පාරවල් දිග අතැර නොයමින් ජිවිතේ මහ ලොකු කතන්දර කියා දුන්නා තාම මතකයි... අව්ව වැස්සක් සිසිල් පොළොවක් රැදුනෙ නැති ඔබගාව සුවඳයි අකුරු පොත්පත් කරන්නට මට දිරිය දුන්නා තාම මතකයි.. උයා දෙන දේ නොකා මට දී සයින් උන්නා අදත් මතකයි වතුර උගුරෙන් වසාගත් කුස අහස තරමට මට විශාලයි.. ලොකු වෙලා මම දීග යන දින නමැදි පා යුග ඔබේ පා මුල ආදරෙන් මට කිව්ව දේ ගැන අදත් මතකයි එද වාගෙම.. අදත් ඉඳහිට හමුවු දිනයක වඳින විට මම දෙපා අල්ලා ඔබේ ඇස් අග රැදුනු කඳුලක උණුසුමක් නොදැනුනා නොව මට..
සිත නුඹ නිබඳවම සැරිසරණ.. අද  ඇයි සැඟව වළාකුලක.. මග සොයා දිවෙන තාරකාවකට.. කියදී මග අසාපන් ඇය කොහීවීද..

අහිමි බිළිඳිය

හීන් වැහිපොද කෙමෙන් වැඩිවී මහා වැසි වසින්නට පටන් ගත් ඉනික්බිති.. පොල් අතු වහලයට වැටෙන දිය බිංඳු සට සට ගා ගැටෙයි පොල් කොළ තෙමමින්ම.. බිම එලන ලද පැදුරක නිදිගත් මගේ හිත තවමත් මගේ කුඩා ලබැඳිය වෙතම.. තනපුඩුව කිරිබරින් පැලී රිදුම් දෙනවිට උඩු ඇඳුම තෙමාගෙන කිරි ගලායයි සැනෙන.. පෙරදා රාත්‍රිය මොනතරම් බිහිසුණුද මා ලබැඳි බිළිඳිය ගෙනගියෝ කවුරුන්ද.. මගේ කිරි උරමින්ම නින්දෙන්ම රැගෙන ඇය කොහිගියෙද මට කියන් මගෙ බිළිඳු මට දියන්..

අම්මා

කිරි පිහිය අතින් ගත් අම්මාට උදව්වට මමත් මහ පාන්දර යනවා කිරි කට්ටියට. ගහක් ගානේ ගිහිං ඔට්ටපාලු ගලවලා පොල්කට්ට සුද්ධ කරල දෙන්න මන් හරි දස්සයි... පිණි වැටුන රබර් කොළ පෑගිලා යනකොට දැනෙන සීතලත් එක්ක ලෙස්සනවා කකුල් දෙක.. මීදුම් බාගෙන අහස් කුස එළිය වෙද්දි කිරි කට්ටියම කපල ඉවර වෙනවා.. සීනි ඩිංගක් අල්ලට හලාගත්ත අම්මා රොටී කෑල්ලක් කාලා කහට උගුරක් බොනවා.. ටිකක් වෙලා ගල උඩ ඉන්න අම්මා ගොටුකොළ ගලෝනවා දවාලට කන්න.. කිරිටික ඇකිලුව අම්මා ගොටුකොළ මිටිය ඉනේ දවටගෙන කිරි බාල්දිය අරන් එනවා.. ගෙට ගොඩවෙන අම්මා බත් හැලිය ලිපේ තියලා ගොටුකොල සම්බෝල එක්ක කොස් මාලුවක් හදනවා.. අපි ඔක්කොමකුස්සියට වෙලා ඒක කන්නපොරකනවා.. අන්තිමට අම්මට කන්න බත් ඩිංගක්වත් ඉතුරුවෙන්නැ දරු පෙම හින්දම ඇගේ කුස නොපිරුණත් හිත පිරිලා සතුටින් ඒත් අම්මේ උඹ බඩගින්නෙ.

වැඩිවියට පත්වීම

මේ වෙනකොට මං හිටියේ හයේ පංතියේ දැරිවියක්ව. එදත් වෙනද වගේම සුපුරුදු විදියට තාත්තත් එක්ක මං පාසැල් ගියා. පාසල වෙනදට වඩා ටිකක් කලබලකාරියි.වාර්ෂික නිවාසාන්තර ක්‍රිඩා උත්සවය තිබුණෙ එදා නිසා.මගේ නිවාසය ඇමතිස්ට්.ඒ කියන්නෙ මැණික් වල තියෙන අඹතේස් කියන වර්ගයට අයිති නම.ඒකෙ පාට දම් පාට. දම්පාට ලොකු මල් වැලක් අපේ ගේ දොරකඩ ඒ කාලේ තිබුණා.ඉතින් නිවාසය සරසන්න මේ මල් ගොඩක් අරන් තමයි මම ඉස්කෝලෙ ගියෙත්... ඔන්න කොහොම කොහොම හරි ක්‍රිඩා උතසවයත් ආරම්භ උනා.දුවලා .පැනල .නටලා.දඟලලා මට හොදටෝම මහන්සියි.හවස පහ හමාරේ බස් එකේ ගෙදර ගියා. ඒ වෙලාවෙ අපේ ගෙදරට රෙදි නැන්ද ඇවිත් හිටියා.මම මහ ලොකු බත් පිඟානක් බෙදන් වාඩිඋනා කන්න.ඒකෙ තිබුණා මන් ආසම කරන  කෙසෙල්මුව බැඳුමක්.. ඒ වෙනකොට අම්ම මම කන තැනට ඇවිත්. "ලොකු දුවේ මේ වයසේ ළමමයින්ට අසනීපයක් හැදෙනවා.ඔයාටත් දැන් ඒ අසසනීපෙ හැදිලා. ඒ නිසා බැදුම් තෙල් කන්න එපා " කියලා  අර බැදුම් ටික අයින් කලා. ඇත්තටම ඒ වෙනකොට මට වැඩිවිය පැමිණෙනවා කියලා අහල තිබුණත් ඒ මොකක්ද කියලා මං දැනගෙන හිටියෙ නැහැ. මම ඒ ගමන අම්මට කිව්ව "මටත් ඕනි ඔය ලෙඩේ ගැන දැනගන්න තමයි "කිය
ගගනත කළු ඝන සුළං කෝඩ වැද විසිර දසතම කඳු හෙල්,තැනිතලා,නිම්නද ගහකොළ,සතා සීපාවන්ද ගේ දොරද පෙරලා හමන අපූරුව.. හෝ හඬ නගමින් වියරු රළ පහසින් මහ කෝඩ ගසමින් කැරකි කැරකී එන මේ සුළං රැලි වැද මිනිසුන් නගනා විලාපය නොඇසේද.....?
ලස්සනට හිනාවුණු දෑස් අග වසාගෙන පිපුණු තොල් පෙති සඟල නිහඬවන නිතොර දඟ සිනාවෙන් මුව කමල සරසාන දකිමි මම දකිමි ඇය සදාකාලික නිදන දඟ කරපු කෙහෙරැලි හොවා බැද තබාගෙන සිහින් දිගු ඇඟිලි තුඩු එකට බැඳ තබාගෙන හීන් මල් රටා මැවු ඔසරියෙන් සැරසීගෙන ඇයද මේ නිදන්නේ සතර රියනක සිටින හුස්ම වැටෙතැයි සිතා බලා හිටියත් අතර නැහැ කිසිදු හිනාවක් ඇගේ මුහුණත වැතිර හැරි මාවෙත සිනා පා වි යයි දැක නිතොර බලා සිටියෙමි ඇගෙ උවන දෙස ඇස් වැතිර සුවඳ පැන් නහවලා නුඹේ වත සඟවමින බලා ඉම් නතරවී තවත් මොහොකත් සිතින අඬන්නට කඳුලු දී සැතපුනත් මගෙ නෙතින අවසරයි සිප ගන්න වතාවක් ඔය මුහුණ
ගෙන්දගම් පොළොවේ කාශ්ඨක අව්වේ හැපි හැපී නන්නාදුනන මිනිසුන් අතර ගැවසිගෙන නුඹ  දරණ වෙහෙස මිනිසෙකු වන්නට හෙට.. පාගාන නැගිටින නැගෙනවිට බිම දමන සිනාවට කඳුල දෙන අතින් අල්ලා වැරෙන් ඉවතටම ඇද දමන මිනිස් වෙස් අරගෙන තිරිසනුන් වෙසෙන ලොව ඔබේ ශක්තිය ගැන පුදුමයි ඇත්තටම.. පාවහන් නැති දෙපා වේගයෙන් දුවවමින් ඉරුණු කමිසයෙ කොණින් දහඩියද පිස දමන් ඔබ නොදුටු අහිමි ලොව ජය කිරුළ දරන්නට නිබඳවම වෙරදරන ඔබේ ඔය හිත් අහස මොනතරම් ලස්සනද....?
රූ බර ගත දිලෙන දිග නෙතු යුග සැළෙන මුදු දෙකොපුල අතර රත් තෝල් පෙති සැඟව සියුමැලි වත යුහුව නොම දැඩි වුණ හිතට දිගු රතුඟිලි අතර තෙත පන්හිඳ රැඳුන.. ලියන කවිපද රසට කියමි ගොනු කර යසට දෙනිපිටියෙ නුග රුකට පිටදී වැරෙන් සිට ඇලපාත මුදලිඳුට ඇසෙන්නට.. තනිකම දැඩිව දැනෙන මම ලියන කවි පද වලට මුදළිඳු ඇලපාත ලියයි පිළිතුරු කව හොඳට.. ආලයෙන් මත්ව දැඩිව නුඹ ලියූ පදවැල් අතර සිරවී මගේ සිතට දැනුනත් දුකක් ඉදහිට ගජමන් නෝනා වෙමි කිසිදාක නුඹට පෙම් නොකළ
වියළි රළු කඨෝර පොළොව මත නැගුණු දුහුවිලි නැගෙයි මග දෙපස ඉදී රත්පැහැ ගැහුණු ගහ කොළ බිම වැටෙන්නට වන.. මේඝ ගර්ජනා සහිත මහ වැසි වසින හැන්දෑව ගල් බොරළු පස් සෝදාන එන වතුර කඳ මහ මග මැදම ගලායන.. වසන්තය පැමිණ ගස් කොළන් දළු දමා අතු ඉති මලින් බරව කොතරම් හැඩද ඒ පරිසරයම. හැමදාම යනෙන නව නගර පාර කාලයෙන් කාලයට වෙනස්ද මොනතරම් ජීවිතේ හැමදාම දකිමින්ම මේ වෙනස යති එති නැවතී බලති නොදකිති අපූරුව.

තාත්තේ*

කළු ගල් පේන්නැති ගිනි මද්දහන පස් කන්ද කඩාගෙන විල්බැරැක්කෙන් අදින තාත්තේ... කඩා දමන්නට මහ නියරෙ වක්කඩ  මහ පාන්දර නැඟිට කහට ඇඹින්දක්වත් නොබී කුඹුරු යන තාත්තේ.. මට ලෙඩ උනාම මගේ ඇඳ ලඟ ඉඳන් හිස අතගගා පිරිත් පැන් කරනා තාත්තේ.. ජීවිතේ මහ හුඟක් බර කරින් දරාගෙන නුඹ සෙවූ මිල මුදල් අපි අතර බෙදා දෙන ආදරණිය තාත්තේ.. කිසි සැපක් නැති උනත් දරුවන්ගෙ සැප බලා සිනාසෙන අදත් වෙනදා වගෙම රළු බොරළු බිම දෙපයින් ඒ උනත් රජෙක් මෙන් පා නගන තාත්තේ.. ඔබට අහිමිව ගියත් අපිට හිමි සැප සොයන අදත් සුවසේ හිඳින තාත්තේ.. මගේ ආයුෂත් ගෙන හිඳිනු මැන බෝ කලක් තාත්තේ...
මම පෙම් බැන්දට දිදුලන පහන් තරුවට ඇය පෙම් බැන්දෙ විසල් අහසට. සඳ පිරිවරා තරුකැළ සිටියාට සඳ සිසිළ ලැබුනද තරුවට.. හිතුවට ඔබ පෙම් කරනබව හිස් අහස නොව රැවටුනේ මම
මොන තරම් චණ්ඩ වුව මේ මහා සමුදුරට ආදරෙයි මහ හුඟක්.. සුදුපාට පෙණ කැටිති වෙරලෙ විත් හැපි හැපී අවසාන බිංදුවත් ශේෂ වී යයි බිඳි.. හිස් අහසෙ තනියෙන්ම පියාඹනවා දකිනතුරු ගොඩබිමක... පාවෙලා ආවොතින් ආයෙමත් කියන්නට තියෙනවා මහ හුඟක්.. වෙරල මත හැපී හැපී පෙණ කැටිති බිඳ දමන බිඳෙන රල වගේමයි ජීවිතෙත්...

අහිමි පෙමට ලියන වග...

සරා සඳ වැහීගෙන වළාපෙළ නැගෙනවිට තරු රෑන පිරිවරා සඳ අහසෙ දිලෙනවිට හුදකලාවම ඉඳන් බලාගෙන සිටිනවිට සිහිවුනා පෙරදිනක ඔබේ ඔය උවන මට ආදරෙන් එක්වෙලා ජීවිතය සොයන්නට මොනතරම් පැතුම් මල් පැතුවාද අපි එකට පියවරෙන් පියවරට ගියත් අපි එක පෙළට සමුදෙන්න උනේ ඇයි ජීවිතෙන් මොහොතකට සෙනෙහසින් තුරුලුකර මා වැළඳගත්තාට ඔබේ උණුහුම අදත් දැනෙනවා මට හොඳට ඔබ ගියේ ඇයි දුරක ආයෙ යළි නොඑන්නට මගේ හිත ඔබ ගාව තියෙනවා හැමදාට වෙන්වෙන්න සිතුවාට කමක් නැහැ ඉතින් මට ගියානම් සමුනොගෙන ඇත්තමයි ඈතකට මේ තරම් කඳුලු වැල් දුන්නෙ ඇයි මගේ නෙතට නොකියාම ගියානම් දුකක් නැහැ මගෙ හිතට.

ඔබට කියමි මම

රෑ අඳුරෙ එළියකල රැස් දහර ගලායන දොළපාර මැද දිලෙන බිඟුනාද ඇසුනාට නොසැලෙන සුපිපි මල් ලස්සනද කොච්චර.. ගඳපාන මල් වල සුවඳට ඇදෙන බිඟුකැල දැක කුල්මත්ව නටන විට මකරන්ද දැක දැක බිඟු යාද ඈත්වි දුරකට... බකමූණො උලමුන්ද වවුලන් සැතපේවි කොතැන හෝ නිහඬව නැගෙන්නට පෙර හිරු කිරණ ඉගිලේවි ඈතකට ඈතකට.. නැගි සඳේ සිහිලෙන් නැහැව සිතද්දි සිහිනෙන් නැගිට ඔබව සතපාවි මොහොතක් නොලියවුනු කවියක පදයක්.

මළගම

උඩුවියන් බැඳලා හැඩකාර පෙට්ටියක තබලා සේද වැඩ දමලා මුලු ගතම විය මලින් සරසා.. සුවඳ පොද පොද ඉස නෙත කඳුලු පිස දම දම සුදු වතින් සැරසීගෙන සිටී හැම අනෙකාට පෙනුමට.. උඩුවියනට උඩින් මට ගතු කියති ඇතැමෙක් මගෙ පවුලේ උන් විත් සතුට හඟවති හොරැහින් පෙට්ටයේ මිලගැන මළගමේ වියදම් ටික නිවාස ණය ගැන පොළිය ගැන කියයි ඉදහිට දරුවන්.. මගේ මළගම දැක සිටිනු නොහැකිය තව මට විගසින් නැගිටගෙන ආමි යළි මේ ලෝකෙ දැකුමට..

අඳුර

රඟහල ඈත කොණ අඩ අඳුර පරදන නිල් ,රතු,කහ පාට නිවි නිවී දැල්වෙන එළියෙන් දකිමි -මම මම... අඩක් වැසි ඇඳුමට දිගු අඩි පාවහන් ගැලපුන තොල් සහ නිය පාට කල කොණ්ඩය කැරලි කර දිලිසෙන දෙනයන යොමා දුර ඈතට... එනතුරු ගැණුම්කරු හිඳිමි මග බලාගෙන සතුටින්ද දුකින්දැයි කියන්නට බැරි තරමට හිත වෙලාගෙන බර ඒත් මුදලට සිතැතිව.. මධු බඳුන පිරුණා දෙතොලග හාදු පිදුනා දුම් වැටිය දැවුනා පැය ගණන් ගෙවුනා පිරිමි ගත සතපා ඉවතකට හැරුණා.

අතීතය සහ වර්තමානය

පොකුටු කෙස් දිගු දෑස් පිරීගිය දෙකම්මුල්.. මුව පිරුණු සිනා කැන් බර සහිත දිගු දෙපා... අද පොකුටු හිසකෙස් වැටී දිගු දෑස් මිලින වී දෙකම්මුල් වල ගැසී හකුපාඩ ඉලිප්පී.. දිගු දෙපා හරි හෙමින් සිනාකැන් දුර ගිහින්.... වසර විස්සකට පසුව මට මුණ ගැසුණු මගේ පෙම්වත ඔබත් මම මෙන්ම දිරා ගොස්..

බලි කුරුටු..

මහ රැයක අවදිවී කඩා නිදි ගැට වැරෙන් සිතට ආ අකුරු ටික ගැට ගැසුව හෙමි හෙමින් පද පේලි ලියවිලා කුරුටු බලියක් ලෙසින්... හිතන්නට ඉඩක් නැති පොඩි ඉඩක පමාවෙන් මුහුණු පොත දකිනවා බලි කුරුටු සිත් ලෙසින් ලයික් එක දෙක වැටි කොමෙන්ටුත් වැටෙනවා ඒ බලිය කවියක්ව දස අතේ සරනවා.

අවසන් ගමන් ගිය අප්පච්චිට...

මූසලම මූසල  හැන්දැවක ගේ ඉස්සරහ කොස්ගහේ වහපු උලමෙක් හඬගෑවා... නිදාගන්න ගියත් නින්දගියෙ නෑ විනාඩියකට දෙකකට ඇස් දෙක පියවෙන්න ඇති... එකපාරටම කෑ ගහන ශබ්දයක් තාත්තගෙ වැල් ඇදෙන් ඇහෙනවා.. දනි පනි ගාලා දුවලා ගියා මම... වාහනයක් හෙව්වත් හොයාගන්න බැරි උනා පුටුවක ඉන්දවලා කරින් අරගෙන ගියා.. ඉස්පිරිතිලෙ පෙනෙන මානයේ තාත්තව එක පාරටම ගැස්සුනා දරදඬු වෙලා සීතල උනා... හේනෙ කුඹුරෙ දඟලල වැඩ කරපු තාත්තා කන්න ගත්ත බත් ඩිංග නොකා අපට දීපු තාත්තා අවසන් ගමන් ගියා....

ගුරුතුමිය...

පොඩි පංති කාමරයෙ ඔබ අකුරු කරන කොට ඉඳන් මම ඔබ ගාව ඔබේ හැඩ බලන්නෙමි ඔබේ හඬ නැගෙන විට තිගැස්සී බලන්නෙමි ලස්සනට ඔසරියෙන් සැරසිලා ඉන්නකොට බැඳි කොණ්ඩෙන් මුහුණෙ හැඩය තව දකින්නෙමි ඉනට බැඳි හවඩියේ සිළි සිළිය අසන්නෙමි හුණු කූර අල්ලගෙන බිත්තියේ ලියනකොට ඔබේ දිගු වරලසේ හැඩය මම දකින්නෙමි දිගු ඇඟිලි නිය පිරුණු ලස්සනයි සිතන්නෙමි රවුමකට පුටු තියන් අපි කවක් කියනකොට ඔබේ හඬ මොනතරම් මිහිරිදැයි සිතන්නෙමි ඔබේ පොඩි නැටුමකින් තවත් හැඩ දකින්නෙමි පාසලින් සමුගත්ත අවසාන දිනේදිත් ඔබෙ දයාබර හඬම යළි යළිත් ඇසෙන්නෙමි තබා හිස දෙපා මුල බැති සිතින් පුදන්නෙමි