Skip to main content

නිවාඩුව



අපේ ගෙදර ඉස්කෝලෙ නිවාඩු දුන්නම සතුටින් පිරෙනවා.ගෙදර හදල තියෙන කෑම බීම අම්ම හංගලා තියනවා.අපි බස් එකක් එනකං ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා.ඇයි දන්නවද...?නිවාඩු කාලෙට අයියා ගෙදර එනකන්.

අයියා 5 වසරේ ශිෂ්‍යත්ව විභාගෙ පාස්වෙලා කොළඹ ගියා.එයා නැවතිලා හිටියෙ නැන්දා කෙනෙක්ගෙ ගෙදර.

ඉතිං අපිට අයියා දකින්න වෙන්නෙ ඉස්කෝලෙ නිවාඩු කාලෙට විතරයි.
ඔන්න ඉතිං අයියත් ගෙදරට ආවම ,අම්ම හංගල තියෙන කෑම ජාති ඔක්කොම එලියට අරන් අයියට දෙනවා
කන්න.අපේ අයියා වැඩි පුරම ආස දොදොල් කන්න.අනෙක් කෑම ජාති ඒ තරම් කන්නෙ නෑ.ඉතිං ඒන කන්න නංගියි මමයි අයිය ලගට වෙලා ඉන්නවා.

අයියා කිළුටු රෙදි ලෝඩ් එකක් ගේනවා.මන් ළිඳට ගිහිල්ලා ඒවා ඔක්කොම හෝදනවා.හොදලා ගෙනල්ල වනනවා.අයියා මට ඒවට සල්ලි දෙනවා.
ටික දවසක් ගෙදර හිටියට පස්සෙ අපි යනවා තාත්තගෙ මහ ගෙදර.තාත්තගෙ මහ ගෙදර තිබුණෙ රක්වානෙ.මහ පන්නිල කියන ගමේ.හරියටම කියනවානම් සිංහරාජ කැලේ.

ඔය ගමට යන්න බස් තිබුණෙ නැහැ.ඉස්ටෝරු කඩේ ගාවින් බැහැලා පයින්ම තමයි යන්න ඕනි.ඉතිං අපි පොඩි නිසා අපිට පයින් යන්න අමාරුයි.රූස්ස වනාන්තරය මැදින් ,කණාමැදිරි කැ ගහක සද්දෙ අස්සෙන්
අපි යනවා කන්ද මුදුනටම.

ඒ යන මග තියෙන ලොකු ඇළවල් වලින් අපිට එගොඩ වෙන්න බැහැ.ඉතිං මහප්පගෙ අයියල දෙන්න එනවා මගට.අපි යන්නෙ අයියලගෙ කර උඩින්.
මග දිගට හිඹුටු වැල් පිිලා.මී අඹ ගස් යට වැටිලා.අපි ඉතිං යන්කොට මග දිගට ඒවා කකා යනවා.දොලක් ගාව නැවතිලා උදේට අම්මා ගෙදරින් හදල දීපු මොනවාහරි කනවා.දොලෙන්ම වතුරත් බොනවා.හරිම සීතල වතුර.ආසාවේ බැහැ.

කොහොම හරි ගම්මානෙට ආවා කියමුකො.ඊ ගාවට ගෙදරට යන්න වෙල පහු කරන්න ඕනි.හැතැම්ම ගානක් දුරට බැලුවම පේන්නෙ වෙල.නිල්ල පිරුණු ගොයම සර සර ගාලා හුලඟට වැනෙනවා.ආසාවේ බැ.
උදා හිරු රැස් වැදිලා,සිසිල් සුලඟ ගත දැවටිලා,පුංචි පිණි බිඳු දෙපාවල දැවටෙන කෙකාට දැනෙන්නෙ හරිම හුරතලයක්.

වෙල ඉවරවුණු තැක තියෙන්නෙ මහ විසාල දෙල් ගහක්.ඊට එහායින් පේන්නෙ ආතාගෙ කොට්ටුව.අපේ පැත්තෙනම් කියන්නෙ කොටුව කියලනේ.ඒත් ඒ පැත්තෙ කිව්වෙ කොට්ටුව කියලා.ඔය කොට්ටුවේ පොල්,එනසල්,කෙසෙල්,අඹ,කිතුල්.කරාබු ලස් පිරිලා තිබුණා.කෙසෙලේ කැන් වල ගෙඩි පිරිලා ඉදිලා කහම කහ පාටයි.

තාත්තගෙ ගෙදර තිබුණෙ කන්ද මුදුනක.ගිය ගමන් ආතාට දණ ගහල වදිනවා.ආතා ලොකු නැන්දට කතා කරල අපිට තේ හදන්න තියනවා.නැන්ද කෙසෙල් ගෙඩි එක්ක හකුරු ගේනවා කන්න.අපි බඩ පිරෙනකන් කනවා.ඊට පස්සෙ කහට බොනවා.ඒ හකුරු තියෙන්නෙ ගුලි විදියට.හරිම රසයි.
ඊ ලඟට අපි දුවන්නෙ පීල්ලට.ගෙට ටිකක් දුරින් තමයි පීල්ල තිබුණෙ.එතන වතුර පාරෙ කකුළුවො ඉන්නවා .අපි උන්ව අල්ලනවා.
පිල්ලට ඔලුව අල්ලද්දි ඔලුව ගැලවෙන තරම්.ඒ මදිවට සීතල.කිටි කිටි ගාලා වේව්ලනවා.කොහොමත් පැය දෙක තුනක් නම් අපි වතුරෙ ඉන්නවා. ගොඩට ඇවිත් දුවගෙන ගෙදරට යනවා.ගෙදරට ගියාම කොස් මාලුවක්.හාල්මැස්සන් හොද්දක්,ගොටුකොල සම්බෝලයක් බිත්තරයක් එක්ක රතු කැකුළු බත් පිඟානක් බෙදල දෙනවා කන්න.මම ආසා බත් දංකුඩය කන්න.රතු කැකුළු හාල් වංගෙඩියෙ කොටල තමයි බත් උයන්නෙ.එතකොට දංකුඩය හරිම රසයි.

Comments

හික්ස්......අම්මා කැම හංගලා තියන්නේ අයියා එන්න කලින් කැම ටික අතුරුදහන් වෙයි කියලා වෙන්නැති....නේද අක්කා....හික්ස්...
ඔව් නැත්නම් මායි නංගියි ඒකට වග කියනවනේ...

Popular posts from this blog

හයිද්‍රාබාද් සිට චෙන්නායි දක්වා දුම්රියෙන්

අපි ඉගෙන ගත්තෙ හයිද්‍රාබාද්වල NI-MSME යුනිවර්සිටි එකේ.අපේ ෆිල්ඩ් ට්‍රිප් එක තිබුණෙ චෙන්නායි,බැංගලෝර් සහ මයිසූර්. ඉතිං අපි මුලින්ම හයිද්‍රාබාද්වල ඉඳන් චේන්නායි වලට ගියා. අපේ කැම්පස් එකට විශාල බස් රථ කිහිපයක් පැමිණුනා.අපි සුව පහසු විදියට ඒවයේ වාඩි උනා.අපේ විශ්ව විද්‍යාල කැන්ටිමෙන් ලොකු කෑම පාරිසලයක් ලැබුණා.ඒත් එක්කම වතුර බෝතලයක් සහ ඇපල් ගෙඩියක් හම්බඋනා.අපි යූසුෆුඩා වල ඉඳන් සිකින්ද්‍රාබාද් දක්වා බස් රියෙන් ගමන් කලා. අපි පිටත් වෙද්දි කණ්ඩායමක් ඉතුරු උනා.ඒ අය ගැන අපිටත් අපි ගැන ඒ ගොල්ලන්ටත් ගොඩක් දුකයි.මොකද මාස දෙකක් එකට ඉඳලා වෙන්වෙන පළවෙනි අවස්ථාව ඒක. සහෝදරත්වයේ සෙවනැලි ,සහෝදරත්වයේ කඳුලු අපි දැක්කා.ගැහැණු පිරිමි බේදයක් තිබුණෙ නැහැ එතන.ඔක්කොම එකා වගේ ආදරෙන් සමුගත්තා.ඒ ගොල්ලො එන්නෙ ඊට පස්සෙ දවසෙ.ඒත් එයාලගෙ ගමන වෙනස්.ඒ ගොල්ලො ගමන් පටන් ගන්නෙ මයිසූර් වලින්. ඔන්න ඉතිං බස් එක දුම්රිය පොළට ආවා.අපි බැහැල අපේ ගමන් මළු අරගත්තා.ඊට පස්සෙ කට්ටයම පේලියකට දුම්රිය පොලට ගියා. අප්පා දුම්රිය පොල හරිම විශාලයි.සෙනඟ සූ ගාලා.ටිකක් සෙනඟ අඩු තැනක් බලල අපි කට්ටිය නැවතුණා.හැබැයි ඉතින් මුත්‍රා ගඳින් නම් අඩුවක් ති...

තාත්තේ*

කළු ගල් පේන්නැති ගිනි මද්දහන පස් කන්ද කඩාගෙන විල්බැරැක්කෙන් අදින තාත්තේ... කඩා දමන්නට මහ නියරෙ වක්කඩ  මහ පාන්දර නැඟිට කහට ඇඹින්දක්වත් නොබී කුඹුරු යන තාත්තේ.. මට ලෙඩ උනාම මගේ ඇඳ ලඟ ඉඳන් හිස අතගගා පිරිත් පැන් කරනා තාත්තේ.. ජීවිතේ මහ හුඟක් බර කරින් දරාගෙන නුඹ සෙවූ මිල මුදල් අපි අතර බෙදා දෙන ආදරණිය තාත්තේ.. කිසි සැපක් නැති උනත් දරුවන්ගෙ සැප බලා සිනාසෙන අදත් වෙනදා වගෙම රළු බොරළු බිම දෙපයින් ඒ උනත් රජෙක් මෙන් පා නගන තාත්තේ.. ඔබට අහිමිව ගියත් අපිට හිමි සැප සොයන අදත් සුවසේ හිඳින තාත්තේ.. මගේ ආයුෂත් ගෙන හිඳිනු මැන බෝ කලක් තාත්තේ...
තාත්තගෙ ගම පසුගිය   දවස්වල එක දිගම වැහි ඇද හැලුණි.පුරුද්දක් විදිහට රාජකාරියට ගියත්,පැවති ගංවතුර තත්වය සහ නායයාම් නිසා මම ද බෙහෙවින් කාර්ය බහුල තත්වයකටත්,ඉමහත් කලබලයටත් පත්ව සිටියෙමි. එහෙත් ඇතැම් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත්,සතියේ නිවාඩු දිනවලත් ගෙදර සිටීමට සිදු වූ අතර,ගෙයින් එළියට බැසීමටවත් නොහැකිව ගෙදරටම වී සිටියෙමි.දරුවන්ද වැස්සේ නින්දට ගොස් සිටින සෙනසුරාදා දිනයක ඉවුම් පිහුම් සදහා කුස්සියට ගියෙමි.කුස්සියේ දොර හැරිය විට ධාරානිපාත වරුසාවකුත්,මොහොතින් මොහොත මතුව එන මේඝ ගර්ජනාත් ඒ එක්කම මතුව එන විදුලි එළියත් දක්නට ලැබුණි.ඇත්තටම මා සිත ඒ අතර අතරමංවිය. මගේ සිත නිරන්තරයෙන් අතීතයට ඇදී ගියේ මටත් නොදැනීමය. මගේ තාත්තාගේ ගමට මා ඉබේම පිවිස තිබුණි. තාත්තාගේ මහගේ පිහිටා තිබුණේ රත්නපුර රක්වාන මාර්ගයේ ඉස්ටෝරු කඩේ ගාවින් බොහෝදුරක් ගියවිට හමුවන මහ පන්නිල ගමේය. අපි ඉස්සර ගමේ යනකොට යන්නේ පානදර හයේ බස් එකේ නැගලායි.රත්නපුරයෙන් පෙ.ව.7.00 ට රක්වාන බස් එකට නැග්ගම පාන්දර 8.30 පමණ වන විට ඉස්ටෝරු කඩේ හන්දියෙන් බැසිය හැකි වේ.බොහෝ විට පාසල් නිවාඩුවට ගමේ යන්නේ අයියාත් මාත් පමණි.ඒ නංගී අප දෙදෙනා...