මම ඉස්සර පුංචි කාලේ හිටියෙ අපේ අම්මගෙ මහ ගෙදර.අක්කර පහලොවක් විතර ලොකු ඉඩමක හරි මැද තමයි මේ ගේ තිබුණෙ.ගේ වටේටම තිබුණෙ පොල් හිටවලා.හරිම ලස්සනයි.අඹ,කජු ථපේර ,දොඩම්,දෙළුම් නාරං,ඇඹරැල්ල වගේ හැම පළතුරක්ම වත්තෙ පිරිලා.
මහ ගෙදර ඉස්සර කාලේ හැටියට ලොකු ගෙයක්.කාමර තුනක් ,කෑම කාමරයක්,කුස්සියක්,ආලින්දයක් තිබුණා.මැද මහ දොරක් තිබුණා ලී වලින් හදපු.
අයියයි මමයි දෙන්න පොඩි කාලේ හරිම යාලුයි.මං දෙකේ පන්තියෙ,අයියා හතරෙ පන්තියෙ විතර.මට මතක විදිහට.ඒ ගෙදර ඉස්සරහ ලොකු යකඩ පයිප්පයක් හිටවල තිබුණා.අපි ඕක දිගේ බඩගාලා ගිහිං වහලෙට නගිනවා.අම්ම බයේ කෑ ගහනවා.තාත්තා අපිට හොදට කථා කරල අනේ මයෙ පුතේ බහින්න ,මං ඔයාලට පේර කඩල දෙන්නම් කියලා වහලෙන් අපිව බස්සව ගන්නවා.
අනේ අපිත් ඉතිං ඒකට රැවටිලා වහලෙන් බහිනවා.බැස්සට පස්සෙනෙ වැඩේ තියෙන්නේ.තාත්තා කෝටුවක් අරන් අපි දෙන්නට හොදටම දෙසා බානවා.
සමහර වෙලාවට මම අයියා එක්ක රණ්ඩු වෙනවා.එහෙම වුණාම මම ටිකක් කපටි වෙලා "යං අයියෙ අපි ජම්බු කඩන්න කියලා" ජම්බු ගහ යටට අයියව එක්කන් යනවා.අනේ ඉතිං අයිය දිග කෝටුවක් අරන් ජම්බු කඩනවා.මං මොකද දන්නවද කරන්නෙ.ජම්බු ගහ යට තියලා තියෙන මී මැහි පෙට්ටියට අතින් ඇණලා දුවනවා.
අපේ අයිය සුදුම සුදුයි.අයියගේ ඇඟ පුරාම රතුවෙලා,මී මැස්සො කාලා.ඉතිං තාත්තා ආයෙත් මට ගහනවා.කොයි තරම් නම් මම ගුටි කන්න ඇද්ද?
ආතම්ම හදන වැලිතලප හංගල තියෙන්නෙ කුස්සියෙ වළං අස්සෙ.අයියයි මමයි දෙන්න හොරෙන් ගිහිං ඒවා හොයාගෙන කනවා.සමහර වෙලාවට කැම කාමරේ තියෙන රාක්කෙන් නැගල ,කුස්සියේ තියෙන රාක්කෙන් බිමට බහිනවා.
ඒත් අද
අයියා අපි ලඟ නැහැ.සැතපුම් දාස් ගානක් ඈත රටක තනිවෙලා.
මහ ගෙදර පාලුවට ගිහිල්ලා.ඒත් ආත්ම්මා දෙකට නැමිලා තාමත් කුස්සියේ වැඩ කරනවා.
Comments